Tuesday, December 1, 2009

සැබෑ දේශපේ‍්‍රමියා විමල්ද ???......... ජෙනරාල් ද ???

වර්ථමාන ශ‍්‍රී ලංකා දේශපාලන වේදිකාවේ ප‍්‍රධානම මාතෘකාව බවට පත්ව ඇත්තේ විධායක ජනාධිපතිධූරයයි. පොදු අපේක්ෂක ජෙනරාල් ප‍්‍රමුඛ විපක්ෂයේ පක්ෂ වල තර්කය වන්නේ විධායක ජනාධිපති ක‍්‍රමය නිසා රටේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය සහ යහපාලනය බිඳ වැටෙන බවයි. ඒ හේතුවෙන් පාර්ලිමේන්තුවට වගකියන අගමැතිධූරයක් විකල්ප ලෙස දක්වන මේ පිරිස මතුවෙමින් පවතින අත්තනෝමතික ඒකාධිපති ආඥදායකත්වයට එරෙහිව තම ඡන්ද සටන දියත් කර ඇත. මෙය රටක් ලෙස අප සතුටු විය යුතු තත්වයකි. මන්ද, ත‍්‍රස්තවාදය අතුගා දමන්නට උරදුන් හමුදා නායකයා මිලිටරි ආණ්ඩුවක් නොතනා ඒකාධිපතීත්වයද අතුගා දමන්නට උරදී තිබීම නිසාවෙනි.

කෙසේ හෝ මේ මොහොත වන විට විපක්ෂයේ ප‍්‍රධාන පක්ෂයන් වන එජාප ය සහ ජවිපෙ ප‍්‍රමුඛ තවත් පක්ෂ ගණනාවක් එකඟ වී පොදු අපේක්ෂකයෙකු ලෙස ජෙනරාල්ව ඉදිරිපත් කර ඇති අතර ආණ්ඩුව පාර්ශවයෙන් වත්මන් ජනාධිපති මහින්ද රාජපක්ෂ තරඟයට පිවිස සිටී. මේ අනුව යුධ උණුසුම යන්නට පෙර කැඳවූ ජනාධිපතිවරණයේදී විපක්ෂයේ අපේක්ෂකයා ලෙස යුද්ධයේ ප‍්‍රධාන කොටස්කරුවෙකු ඉදිරිපත් කිරීමේ උපක‍්‍රමික ක‍්‍රියාව නිසා ආණ්ඩුව දරුණු ලෙස අපහසුතාවයකට පත්ව තිබීම සුවිශේෂී කරුණකි. මේ නිසා යුධ ජයග‍්‍රහණය දඩමීමා කරගෙන දැවැන්ත ඡන්ද ප‍්‍රතිශතයක් ලබා නොපෙනෙන අනාගතයක් දක්වා රජකම් කරන්නට මහින්ද මැවූ හීනය දැන් දැන් බොඳවන්නට පටන් ගෙන තිබේ. නමුත් ඉන් වැඩිපුරම කුපිත වී ඇත්තේ විමල්, මර්වින්, ඩලස් ආදී වූ අනන්ත අප‍්‍රමාණ ඇමති මණ්ඩලයයි. ඊටද සාධාරණ හේතුවක් ඇත. ඒ ලොක්කාට ලැබෙන්නට තිබූ මස් කුට්ටිය අහිමි වී ගියහොත් තමන්ට සූප්පු කරන්නට කටු නැතිවී යන බව මේ රැල දැන සිටීමයි.

අවසන් ප‍්‍රතිඵලය විය යුත්තේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය සහ යහපාලනය වුවද ශ‍්‍රී ලංකාව වැන රටක ග‍්‍රාමීය ජනතාවට ප‍්‍රජාතන්ත‍්‍රවාදය තේරුම් කර දී ඡන්දය ඉල්ලන්නට හැකියාවක් නැත. මන්ද, ග‍්‍රාමීය ප‍්‍රදේශ වලට යත්ම නූගත්කම (විශේෂයෙන්ම දේශපාලනික විශය කරුණු) ඉහවහා ගොස් ඇති නිසාවෙනි. මේ නිසා ජෙනරාල් තම ඡන්ද සටන ‘‘ මෙහෙයුමක්’’ ලෙස නම් කර ඇත. යුධ ජයග‍්‍රහණයෙන් උන්මාද වී ඇති ජනතාව තවමත් ජෙනරාල් දකින්නේ යුධ හමුදාව මෙහෙයවූ වීරයා ලෙස වන බැවින් මෙය ඉතා හොඳ ප‍්‍රචාරණ ක‍්‍රමවේදයකි.
නමුත් දැන් දැන් රජයේ පාර්ශවයෙන් ජෙනරාල්ගේ මෙහෙයුමට එරෙහිව ගරිල්ලා ප‍්‍රහාර එල්ල කරන්නට පටන්ගෙන ඇත. මීට මාස 6කට පෙර ප‍්‍රභාකරන්ව නන්දිකඩාල් කලපුවේදී අවසන් ගමන් යවා ශ‍්‍රී ලංකාද්වීපයෙන් ත‍්‍රස්තවාදය අතුගා දමන්නට සමත් වූ ජෙනරාල් සරත් ෆොන්සේකාගේ ගුණ වැයූ ජනාධිපති ප‍්‍රමුඛ ඇමති මණ්ඩලයේ උදවියම අද එතුමාගේ නුගුණ වයන්නට පටන් ගෙන තිබේ. දේශපාලන වේදිකාවේ ප‍්‍රතිපාර්ශවයට එරෙහිව කථා කිරීමේ වරදක් නැත. එය දේශපාලනයේ ස්වාභාවයයි. නමුත් කිසිඳු පදනමක් නැති බොරු සහ මෝඩ කතා කියන්නට වත්මන් ආණ්ඩුවේ ඇමතිවරු පෙළඹීම හරහා පෙන්නුම් කරන්නේ විපක්ෂයේ බංකොලොත්භාවයටත් වඩා තමන්ගේ බංකොලොත්භාවය බව ඔවුන් දැනගත යුතුය.

මෙලෙස ජෙනරාල්ට විරුද්ධව කෑගසන අය අතරින් ප‍්‍රමුඛස්ථානය විමල් වීරවංශට ලබා දීමට කිසිවෙකුත් විරුද්ධ නොවනු ඇත. ඒ අනුව විමල්ගේ ඔයතරම් ප‍්‍රබල තර්කය කුමක්දැයි විමසා බැලීම මීලඟට කළ යුතුය. දේශප්‍රෙමී මන්තරය මතුරමින් තම බඩවියත රැකගන්නා විමල් වීරවංශ ජෙනරාල් දේශද්‍රෝහියෙක් වන්නේ කෙසේදැයි විස්තර කර සිටී. ඒ අනුව ‘‘ඊයේ දේශපේ‍්‍රමියෙකු වුවද අද ඔහු දේශද්‍රෝහී පිල සමග සිට ගනීද හේ දේශද්‍රෝහියෙකු වේ.’’ යන තර්කය ඉදිරිපත් කරයි. මේ තර්කය අනුව මෙහි පදනම වන්නේ දේශපේ‍්‍රමියා යන්නයි. එම දේශපේ‍්‍රමී ගොඩට විරුද්ධව ක‍්‍රියාකරන්නා හැමවිටම දේශද්‍රෝහියෙකු ලෙස විමල් හංවඩු ගසයි. ඒ අනුව පදනම වන දේශපේ‍්‍රමීන් හඳුනා ගන්නේ කෙසේ දැයි යමෙකුට ප‍්‍රශ්ණයක් මතුවේ. ඊට හොඳම පිළිතුර වන්නේ ‘‘සදාකාලික දේශපේ‍්‍රමියා වන විමල් සිටින්නේ කොහිද එහි සිටින හැමෝම දේශපේ‍්‍රමීන් වේ.’’ යන්නයි. නමුත් මේ තර්කය විමල්ටම හරහට සිටින තර්කයක් බව ඔහු නොදනී. මන්ද, විමල්ගේ තර්කය පුද්ගලබද්ධතාවය නිරූපණය කරන තර්කයකි. පුද්ගලබද්ධතාවය නියෝජනය කරන්නේ ධනවාදී ධාරාව නිසා මෙය විමල් නියෝජනය කරන වාමාංශික ධාරාව සමග ඍජුව ගැටේ.

ඒ හේතුවෙන් වාමාංශික ධාරාව නියෝජනය කරන විෂයබද්ධතාවය අනුව සැබෑ දේශපේ‍්‍රමීන් කවුරුන්දැයි විමසා බැලිය යුතු වේ. ත‍්‍රස්තවාදය පැවති මොහොතේ ඊට විරුද්ධය සටන් කිරීම වූ කලී රටේ විෂයබද්ධ අවශ්‍යතාවය විය. ඒ අවස්ථාවේ ඒ සටනට උරදුන් ආණ්ඩු පාර්ශවය, මහින්ද සහ විමල් පමණක් නොව ජවිපෙ සහ ජෙනරාල්ද දේශපේ‍්‍රමීන් බව හැබෑවකි. එය ඒ මොහොතේ විමල්ද පිළිගත් සත්‍යයකි. නමුත් දැන් යුද්ධය හමාර වී ඇත. එබැවින් මේ මොහොතේ ශ‍්‍රී ලංකාව නම් දේශය විසින් ඉල්ලා සිටින්නේ කුමක්දැයි මුලින්ම නිශ්චය කරගත යුතු වන්නේය. ත‍්‍රස්තවාදය නිමවූ පසු ප‍්‍රජාතන්ත‍්‍රවාදය මුල් කරගත් ශක්තිමත් ආර්ථිකයක් දැන් ශ‍්‍රී ලංකාවේ අවශ්‍යතාවය වී ඇත. එසේ නම් මේ මොහොතේ විෂයබද්ධ අවශ්‍යතාවය එයයි. මේ මොහොතේ දේශපේ‍්‍රමීන් කවුරුන්දැයි මේ අනුව හඳුනාගත යුතු වේ. එහිදී වත්මන් ආණ්ඩුව දේශපේ‍්‍රමීන් ඝණයට අදාල වේදැයි මුලින්ම විමසා බැලිය යුතුය.
අපට අවශ්‍ය නැතැයි පොර ටෝක් දෙමින් ද, ජාත්‍යන්තර ශක්තිමත් ආර්ථකයන් සහිත රාජ්‍යයන් වෙළඳාම අතින් දුරස් කර ගනිමින් ද, එදා වේලවත් කන්නට නැති හිඟන ආර්ථක සහිත රාජ්‍යන් තුරුලූ කර ගනිමින් ද, ජාත්‍යන්තරය තුල පසුගාමී ආර්ථිකයක් ගොඩනගා ගැනීමට අවශ්‍ය මූලයන් රැස්කරන ගමන්ම මූල්‍ය අරමුදලෙන් ඩොලර් බිලියන ගණන් ණය ගනිමින් විදේශීය ණය නම් වූ පඹගාලේ රට පටලන්නට අර අදින වත්මන් ආණ්ඩුව ශ‍්‍රී ලංකාවේ ආර්ථිකය ගොඩනැගිය හැකි මගක ගමන් කරන්නේ නැත. රටේ ආර්ථිකය වෙනුවට තම පවුලේ ගෝඨා, බැසිල්, චමල් හා නාමල් ආදීන්ගේ ආර්ථිකයන් මනාවට ගොඩනගන මහින්ද විසින් ගෙනා අතුරු සම්මත ගිණුමේ ජනාධිපති වැය ශීර්ෂයට වෙන් කළ මුදලින් මෙය තවත් පැහැදිලි වේ.

රටේ ව්‍යාපාරිකයන්ට ස්ථාවර වෙළඳ පසුබිමක් ගොඩනගා දෙන්නට අසමත් ආණ්ඩුව නිතර නිතර වෙළඳ පලට ඇඟිලි ගසන්නට යෑම හරහා කළකිරී සිටින ව්‍යාපාරිකයන් මුහුණු වලින් පෙන්නුම් කරන්නේ අනාගත ආර්ථික අර්බුධයක පෙරමග ළකුණුය. අනෙක් අතට මහින්ද චින්තනයෙන් ගෙනා ‘‘අපි වවමු - රට නගමු’’ වැනි ජවිපෙ අදහස් මත ගොඩනැගුණු සංකල්ප වලපල්ලට ගොස් ඇත. කිරි ගොවීන් ගොඩනැගීම වෙනුවට එම මුදල් වලින් උතුරුමැද පලාත් මහඇමති ගොඩනැගී ඇත. උතුරුකරයේ නිදහස් කරගත් ගොවිබිම් අස්වද්දා රට ස්වයංපෝෂිත කිරීමට බන්දුල ගුණවර්ධන කටමැද දෙඩුවද අද වන විට මහින්දට එම ජනතාවගේ ඡන්ද ටික වැදගත් වී ඔවුන් තවමත් බදාගෙන සිටී. මේ ආකාරයට මෙම ලැයිස්තුව තවත් පිටු ගණනක් වුවත් දිගු කරන්නට තරම් කරුණු තිබේ. ඒ අනුව වත්මන් ආණ්ඩුවේ මෝඩ ක‍්‍රියා නිසා ආර්ථික කළමණාකරණය සම්පූර්ණයෙන්ම බිඳවැටී ඇත.

ඉහත සාධක අනුව පෙනී යන්නේ වර්ථමානයේ පවතින විෂයබද්ධ අවශ්‍යතාවයට ආණ්ඩුව වින කරමින් සිටින බවයි. ඒ අනුව අනෙක් පාර්ශවය ගැන සලකා බලන්නටත් පෙරම මොවුන් දේශද්‍රෝහීන් බව ඔප්පු වේ. එබැවින් විමල් වීරවංශ උඩ පැන පැන කෑගසන දේශපේ‍්‍රමීත්වයට සැබෑ ලෙසම ඔහු අයත් වන්නේ නැති බව කණගාටුවෙන් වුවත් මතක් කර දීමට සිදුවේ. එපමණක් නොව, මදකට අප විපක්ෂය දෙස බැලීමද කළ යුතුය. ඔවුන් තම ප‍්‍රධානම සටන් පාඨය බවට පත්කරගෙන ඇති ‘‘විධායක ජනාධිපතිධූරය අහෝසි කිරීම’’ යන්න හරහා රටේ විෂයබද්ධ අවශ්‍යතාවයට අනුකූලව කටයුතු කරන බව පෙනේ. අනෙක් අතට ආර්ථික කළමනාකරණය සම්බන්ධය ඔවුන් සතු හැකියාව ආණ්ඩුවේ අමාත්‍යවරු පවා අවිඥනිකව පිළිගනිති.

මේ සාධක ගෙන සලකා බලන විට සැබෑ දේශපේ‍්‍රමීත්වය මේ මොහොතේ නියෝජනය කරන්නේ ජෙනරාල් ප‍්‍රමුඛ විපක්ෂ කණ්ඩායම බව ඉතාම පැහැදිලිය. ඒ අනුව අප තේරුම් ගත යුතු වැදගත්ම කරුණ වන්නේ දේශපේ‍්‍රමීත්වය යන්න විමල්ගේ හෝ මහින්දගේ බූදලයක් නොවන බවයි. එය ඒ අවස්ථාවේ රටේ අවශ්‍යතාවය මත වෙනස් විය හැකිය. නමුත් එය වෙනස් වන්නේ විමල්ගේ මෝඩ තර්කය අනුව නොවන බවද සිහියේ තබා ගත යුතුය.

තත්වය එසේ නම් ජෙනරාල් ගේ තීරණය කොතෙක් සාධාරණ දැයි පැහැදිලි වේ. ජෙනරාල් මීට පෙර සිටියේද ත‍්‍රස්තවාදය පරාජය කළ දේශපේ‍්‍රමීන්ගේ කණ්ඩායමේය. එසේම ඔහු දැන් සිටින්නේද ප‍්‍රජාතන්ත‍්‍රවාදය සොයා යන දේශපේ‍්‍රමීන්ගේ කණ්ඩායමේය. ඒ අනුව වරද්දාගෙන ඇත්තේ ජෙනරාල් නොව විමල්ය. නමුත් විමල්ට දේශපේ‍්‍රමියෙකු වන්නට තවමත් බැරි නැත.